“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 997 කට අධික ප්‍රතිපාදන!
නුවරඑළිය, ශ්‍රී ලංකා —
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි එක් අදියරක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 997.84 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
ජාතික මට්ටමේ ප්‍රගතිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපෘති බෙදීයාම
- ජාතික දායකත්වය: 2026 අයවැය මඟින් “ප්‍රජා ශක්ති” වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 25,000 ක මුදලක් වෙන් කර ඇති අතර, මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති 15,646 ක් ආරම්භ කර ඇත. එහි සමස්ත මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425 කි. මෙහිදී සමස්ත ව්‍යාපෘති වලින් 53.2% ක් (ව්‍යාපෘති 8,323 ක්) ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි 46.8% ක් (ව්‍යාපෘති 7,323 ක්) යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද වෙන් කර තිබේ.
- නුවරඑළිය දිස්ත්‍රික් ඉලක්ක: නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 786 කි. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84 ක් වේ.
- ව්‍යාපෘති වර්ගීකරණය:
- ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 263 ක් සඳහා රුපියල් මිලියන 296.19 ක මුදලක් වෙන් කර ඇත.
- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 286 ක් සඳහා රුපියල් මිලියන 543.22 ක මුදලක් වෙන් කර ඇත.
මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වූයේ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවල තාක්ෂණික පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2026 වර්ෂයට අදාළව එක් ඒකකයකට රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් මිලියන 182.5 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවයි (2025 වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 365 ක් ලබා දී තිබුණි).
සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර හැකිතාක් ඉක්මනින් ජනතා අයිතියට පත් කරන ලෙසත්, රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් ව්‍යාපෘතිවල උපරිම ප්රතිලාභ ජනතාවට ලැබෙන සේ ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
