ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දෙදින නිල සංචාරයක් සඳහා අටවන දින ශ්‍රී ලංකාවට පැමිණේ!
කොළඹ, ශ්‍රී ලංකාව —
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන අටවන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සංචාරයේදී දෙරට අතර ආරක්ෂාව සම්බන්ධ විශේෂ අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ආරක්ෂක සහයෝගීතාව සහ ද්වීපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂිතය. විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ වැඩි අවධානයක් යොමු වනු ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම දෙදින නිල සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. ඉන්දියාවේ ආරක්ෂක සහ සුරක්ෂිතතා සහකාරිත්වයන් පුළුල් කිරීම අරමුණු කරගනිමින් වසර දහයක කාලයකින් යුතු නව “රක්ෂා” ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික මාර්ග සිතියම පසුගිය තෙවන දින ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විසින් එළිදැක්වීමෙන් පසුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි. ඒ හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සංචාරය මහත් රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
