උපයන විට ගෙවන බද්ද ඉතා ඉහළ මට්ටමක පවතින බව ජනාධිපති ලේකම්වරයා පවසයි!
කොළඹ, ශ්‍රී ලංකා —
ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payee Tax) ඉතා වැඩ වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා පවසයි. මෙයින් වැඩිපුර පීඩාවට පත්ව සිටින්නේ පහළ මධ්‍යම පන්තිය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, එම බදු අය කිරීම අඩු කරගත යුතු බවද සඳහන් කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට කොළඹදී සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, කඩදාසි මත ඉලක්කයක් දුන් පමණින් එම ඉලක්කවලට ළඟා වීමට නොහැකි බවත්, ඊට අවශ්‍ය වන ආර්ථික හා සමාජීය පරිසරය සැකසිය යුතු බවත්ය. ලෝකයේ අනෙක් රටවල් කටයුතු කරන විධික්රම සහ ඔවුන් භාවිත කරන නව ක්‍රමවේද පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් ලෝකයක් ඉදිරියේ පසුපසට යෑමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර ආයතනවල බලපෑම් සහ ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
ආර්ථිකය තුළ නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි ආයතන පැමිණ බලපෑම් කිරීමට ඉඩ ඇති බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. ජාත්‍යන්තරයේ අනෙක් රටවල ආදායම් දෙපාර්තමේන්තු පවතින උසස් තත්ත්වයට අපේ රටේ ආදායම් අංශද ගෙන යා යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
