ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දින සැමරුම හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදයි!
වෙලිංටන්, නිව්සීලන්තය —
ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් අද දින ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ගුණ සිහිකරමින් ඉතා උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව මිලාද්-උන්-නබි උත්සවය සමරනු ලබයි.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව ‘රබී අල්-අව්වල්’ මස උදාවෙත්ම, ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් පරිත්‍යාගය පෙරටු කර ගනිමින් මහත් භක්ත්‍යාදරයෙන් මෙම ශුද්ධ වූ ජන්ම දින සැමරුම සිදු කරයි. සාමය, සමානාත්මතාව සහ මනුෂ්‍යත්වය පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබිතුමන්, අරාබියේ මක්කම නගරයේදී ක්‍රිස්තු වර්ෂ 570 දී උපත ලැබීය.
නබි නායකතුමන්ගේ ජීවන දර්ශනය සහ මාවත
කුඩා කළ සිටම සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ, තම 40 වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ දැඩි විශ්වාසයයි.
අන්ධකාරයෙන් ආලෝකය වෙත කැඳවාගෙන යනු පිණිස, අසීමිත ඉවසීමේ සහ දයානුකම්පාවේ මාවත හෙළිපෙහෙළි කළ මුහම්මද් නබිතුමා, මනුෂ්‍ය වර්ගයා වෙත එදාමෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකි. වසර 23ක් පුරා උන්වහන්සේ මුහුණ දුන් අනේකවිධ කම්කටොලු සහ සිදු කළ අසමසම පරිත්‍යාගවල මූලික පරමාර්ථය වූයේ සාමය, සහෝදරත්වය, පාරිශුද්ධභාවය, විශ්වාසනීයත්වය සහ යුක්තිය රජයන යහපත් සමාජයක් ගොඩනැගීමයි.
ජාතිය, කුලය, වර්ණය හෝ වංශවත් බව මත මිනිසා මැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ, සමස්ත මානව සංහතියම එකම මූලයකින් පැවත එන බවත්, මිනිසෙකුගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සත්‍යවාදී බව, උපේක්ෂාව සහ කරුණාව වැනි උතුම් සාරධර්මවලින් පමණක් බවත් ලෝකයට පසක් කර දුන්හ. සමාජයේ ඇති-නැති පරතරය දුරලමින්, පීඩිතයාටත් නිසි අයිතිවාසිකම් දිනා දෙමින් උන්වහන්සේ සමාජ සාධාරණත්වයේ සහ සමානාත්මතාවේ හර පදනම සකස් කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් මිලාද් උන් නබි සුබ පැතුම්
අදට යෙදී ඇති මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන් වෙත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
ජනාධිපතිවරයා තම සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, බිඳුණු සිත් සුවපත් කරමින්, වෛරය වෙනුවට ප්‍රේමයත්, විරසකය වෙනුවට සහෝදරත්වයත් අගයන නව යුගයක් කරා යන ගමනේදී, නබිතුමන් විසින් පෙන්වා දෙන ලද අසමසම පරිත්‍යාගයේ සහ මනුෂ්‍යත්වයේ ආලෝකය එමඟ මඟ පෙන්වන බවයි.
නීතියේ ආධිපත්‍යය රජයන, යුක්තිගරුක සහ සියලු දෙනාට සමානව සලකන රටක් සහ සහජීවන සමාජයක් බිහි කරලීමේ වර්තමාන අපේක්ෂාව යථාවක් කර ගැනීමට නබිතුමන්ගේ දර්ශනයෙන් ලැබෙන මඟපෙන්වීම අතිමහත් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එසේම, මනුෂ්‍යයාගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය මෙන්ම සමාජයේ ආචාරධාර්මිකභාවය කිළිටි කරන විෂ මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජීය පිළිලයන්ට එරෙහිව රජය ක්‍රියාත්මක කරන ජාතික මෙහෙයුම් සාර්ථක කර ගැනීමටද නබිතුමන්ගේ දහම සහ ජීවනාදර්ශය මහඟු සවියක් වන බව හෙතෙම අවධාරණය කර තිබේ.
