වසර 30ක ඉලක්ක සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනයට සැලසුම්

MediaFile_20260716_174315_535

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

2026 ජූලි 17 — වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සහිතව, ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබීය.

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන කරුණු

  • කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය: 2027 වසර තුළ දෙවන අදියර යටතේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත. සියලු ගුවන් සේවා සේවා ඩිජිටල්කරණය කිරීම සඳහාද පියවර ගෙන ඇත.
  • අභ්‍යන්තර ගුවන්තොටුපොළ: හිඟුරක්ගොඩ වැනි අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් සිවිල් මගී මෙහෙයුම් සඳහා සූදානම් කිරීමේදී ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීමට උපදෙස් දෙන ලදී.
  • මත්තල ගුවන්තොටුපොළේ අලාභය: වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ අලාභයක් ලබන මත්තල ගුවන්තොටුපොළේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර, 2027 වන විට එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
  • යාපනය ගුවන්තොටුපොළ: මගී පර්යන්තය නවීකරණය කර පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
  • වරාය සංවර්ධනය: කොළඹ වරායේ ලොජිස්ටික් පාක් (Logistic Park), දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම සහ බටහිර පර්යන්තයේ දෙවන අදියරේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස්

රජයේ ආයතන සතු මූල්‍ය ශක්තිය උපරිමයෙන් කළමනාකරණය කරමින්, මහජන බදු මුදල්වලට බරක් නොවී රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.