එල්නිනෝ තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සහ සැපයුම ස්ථාවරව තබා ගැනීමට ශ්‍රී ලංකා රජයෙන් පුළුල් සැලසුම්!
කොළඹ, ශ්‍රී ලංකාව —
ගෝලීය වශයෙන් මතුව ඇති එල්නිනෝ (El Niño) කාලගුණ තත්ත්වය හමුවේ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුමට සහ මිල ගණන්වලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමත්, ඒ සඳහා අවශ්‍ය පූර්ව සූදානම ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
ආනයනික ආහාර ද්‍රව්‍ය ආරක්ෂිත තොග පවත්වා ගැනීම
එල්නිනෝ තත්ත්වයේ සෘජු බලපෑම ශ්‍රී ලංකාවට සාපේක්ෂව අවම වුවද, ගෝලීය වශයෙන් අනෙකුත් රටවලට සිදුවන බලපෑම් හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුමට වක්‍ර බලපෑම් එල්ල විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එබැවින්, ඊට මුහුණ දීම සඳහා කල්තියා සූදානම් වීමක් ලෙස අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල ආරක්ෂිත තොගයක් (Safety Stocks) අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය. ඒ සඳහා මෙරට ආනයනකරුවන් සතුව පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ දත්ත ද මෙහිදී ගැඹුරින් විමසා බැලීමට ලක් කෙරුණි.
ආනයනකරුවන්ගෙන් සහභාගීත්වය සහ වෙළෙඳපොළ ස්ථායීතාව
මෙම සාකච්ඡාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මෙන්ම රජයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ. පරිප්පු, අල, ලූණු, කරවල සහ සීනි ඇතුළු මෙරට ජනතාව දෛනිකව භාවිත කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මිල ගණන් ස්ථාවර මට්ටමක රඳවා ගැනීම පිළිබඳව මෙහිදී ආනයනකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙහිදී ජනතාව තුළ අනියත බියක් හෝ කලබලයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙසත්, ජාතික තත්ත්වයක් ලෙස සලකා වගකීම් සහගතව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ආනයනකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඉදිරියේදී මතුවිය හැකි යම්කිසි භාණ්ඩ හිඟයක් හෝ මිල ඉහළ යාමක් පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ තත්ත්වයන් සහ කාලගුණික විපර්යාස අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමටද මෙහිදී එකඟතාව පළ විය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්භාව, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
