ශ්‍රී ලංකාවේ හිටපු විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට පිවිසෙන බවට පැතිරෙන වාර්තා අසත්‍ය බව හෙළිවේ
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ දේශපාලන වාර්තාව
2026 ජූනි 02 (නවසීලන්තය) — හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව වාර්තා වේ.
සමාජ මාධ්‍යයේ පැතිරෙන අසත්‍ය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් සහ පෝස්ට්වලට අනුව, විශ්‍රාමික ජෙනරාල්වරයා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාව සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට නියමිත බව සඳහන් විය. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, ඔහු උතුරු මැද පළාත් සභාවේ සමඟි ජන බලවේගයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවයි.
සත්‍ය තත්ත්වය
මෙම පුවත් සම්බන්ධයෙන් විමසීමට හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එය සාර්ථක නොවීය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ශ්වයෙන් සිදුකළ විමසීමකදී, එහි විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කළේ සමාජ මාධ්‍යයේ පැතිරෙන අදාළ පුවත් සහ පෝස්ට් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
