ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණයට විවෘත තීන්දුවක් ලබා දෙයි!

Chula_1200x675px_31_08_26-1000x600

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පැවැත්වුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මියගිය නිරූපණ ශිල්පිනියගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බව පොලිසිය සඳහන් කරන අතර, මරණයට සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ලෙස මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධියට අදාළ පසුබිම සහ පොලිස් විමර්ශන

වයස අවුරුදු 45ක් වූ චූලා පද්මේන්ද්‍ර මහත්මිය ඊයේ පෙරේදා දිනයක එනම් අගෝස්තු 31 වන දින පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත්, අගෝස්තු 30 වන දින බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව 31 වන දින අලුයම ඔහුගේ පිළියන්දල පිහිටි නිවසට පැමිණ ඇති බවත්ය.

පසුව ඇය එම නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර, එදින දහවල් කාලයේදී ඇයව අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය කැඳවා ඇත. එහිදී සෞඛ්‍ය සේවකයන් විසින් ඇය දැනටමත් මියගොස් ඇති බව තහවුරු කර තිබේ. ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලක ලේ පැල්ලමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා මෙන්ම මියගිය නිරූපණ ශිල්පිනියගේ මවද පිළියන්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර, මේ වන විට පැමිණිලි දෙකක් යටතේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය සිද්ධිය වූ ස්ථානය සහ මළ සිරුර පරීක්ෂා කළ අතර, අධිකරණ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

You may have missed