ශ්‍රී ලංකාව සහ චීනය අතර ආගමන පාලන සහයෝගීතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය හිමි වෙයි!

1752308261-CHINA-6

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සඳහා ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙම නව ගිවිසුම මඟින් දෙරට අතර ආයතන ප්‍රධානීන් සහ නිල නියෝජිතයින් මට්ටමින් සිදු කරන සාකච්ඡා හා සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත්, වැදගත් නිල තොරතුරු සහ බුද්ධි තොරතුරු අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන අරමුණු

මෙම යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම හරහා ප්‍රධාන අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට නියමිතව ඇත. ඒ යටතේ සක්‍රීය හා සාධනීය ප්‍රවේශයක් අනුගමනය කරමින් දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රවල නියැලෙන පුරවැසියන් විෂයයෙහි බලපාන්නා වූ වීසා, ආගමන හා විගමන කටයුතු සඳහා පුළුල් පහසුකම් සැලසීම සිදු කෙරේ.

මීට අමතරව, සංවිධානාත්මක අපරාධ ලෙස සැලකෙන තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවරයන් ගැනීම මෙන්ම, අදාළ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ධාරිතා සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩමුළු සංවිධානය කිරීම ද මෙමඟින් සිදු වේ. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම නීතිපතිවරයාගේ නිසි නිෂ්කාශන ලබාගෙන ඇති අතර, ඒ අනුව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කරන ලදී.

You may have missed