ප්‍රධාන පෙළේ සංචාරක මාර්ගයක කිලෝමීටර 101ක් ක්වොඩ් බයික් එකකින් ගමන් කර ඩොලර් 20,000ක අලාභහානි සිදුකළ පුද්ගලයෙකුට සිරදඬුවම්!
හොරෝරාටා (Hororata) ප්‍රදේශයේ ගොවිපළක නිවසක් අලාභහානි කර ඩොලර් 20,000කට ආසන්න පාඩුවක් සිදු කර, අනතුරුව සොරකම් කරන ලද ක්වොඩ් බයික් එකකින් කාර්යබහුල සංචාරක මාර්ගයක් දිගේ කිලෝමීටර 101කට වඩා දුරක් ගමන් කර තම ආච්චිගේ නිවසට ළඟ වූ ලියනාඩ් ඇලෙක්සැන්ඩර් හැන්සන් (Leonard Alexander Hansen) නමැත්තෙකුට ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් උසාවිය විසින් සිරදඬුවම් නියම කර තිබේ.
මීට මාස පහකට පෙර රිය පැදවීම තහනම් කර තිබූ 31 හැවිරිදි හැන්සන්, තම හිතවතෙකුගේ ගොවිපළක රැඳී සිටිමින් ජනවාරි 14 සහ 18 අතර කාලය තුළ මෙම විනාශය සිදු කර ඇත. නිවසේ බිත්ති, දොරවල් සහ ජනෙල්වලට අමතරව රූපවාහිනියකට සහ ලැප්ටොප් පරිගණකයකට ද අලාභහානි සිදු කර ඇති ඔහු, අනතුරුව ගොවිපළෙන් ක්වොඩ් බයික් එක සොරකම් කර දකුණු කැන්ටබරි හි ජෙරල්ඩින් (Geraldine) දක්වා කිලෝමීටර 101ක් දුරක් පදවාගෙන ගොස් තිබේ. ජෙරල්ඩින් හි ඉන්ධන පිරවුම්හලකින් විවේකයක් ගත් ඔහු, පසුව තම ආච්චිගේ නිවසට ගොස් ඇයගේ මෝටර් රථයද ණයට ගෙන ක්‍රයිස්ට්චර්ච් වෙත පැමිණ ඇත.
පෙබරවාරි 13 වන දින ක්‍රයිස්ට්චර්ච් නගරයේදී පුද්ගලයෙකුට පහර දී පිහියකින් තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු සතුව පොරවක්, මැචේට් පිහියක්, මෙම්පිටමින් (methamphetamine) බට සහ උණ්ඩයක් තිබී සොයාගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතය මෙම අපරාධවලට මුල් වී ඇති බව පෙන්වා දුන් විනිසුරු ටොම් ගිල්බට් (Tom Gilbert), විත්තිකරුට මාස 16ක සිරදඬුවමක් නියම කළ අතර, නිවසට සහ දේපළවලට සිදු වූ අලාභ වෙනුවෙන් වන්දි ගෙවන ලෙසටද නියෝග කළේය.
