තමන්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලා සිටි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිහිපත් කරයි!

image_4b9f0b2ebe

ඉරානයේ පූර්ණ සහයෝගය ලබන යේමනයේ හූති සටන්කාමීන් විසින් තමන්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ප්‍රකාශ කර තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර නිල සංචාරයක නිරත වන අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ බව හෙළි කළ බව විමුක්ති එස් රුද්‍රිගු වාර්තා කරයි. හූති සටන්කාමීන් ඇමෙරිකාව සමඟ සෘජු යුද වැදීමට කිසිදු කැමැත්තක් නොදක්වන බවත්, ඔවුන් ඇමෙරිකානු හමුදාවල ප්‍රබල ප්‍රහාරයන්ට ලක්වීමට අමෙුනස් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් අවසානයේදී සියල්ල හොඳින් විසඳෙනු ඇතැයි තමන් දැඩි ලෙස අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුර සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සමඟ වැදගත් දුරකතන සංවාදයක් පැවැත්වූ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත තහවුරු කළේය. යේමනයේ රතු මුහුදු වෙරළ තීරයේ පූර්ණ බලය හූති සටන්කාමීන් සතුව පවතින අතර, ඉදිරියේදී යම් හෙයකින් ඇමෙරිකානු සෘජු මැදිහත් වීමක් හෝ ප්‍රහාරයක් සිදුවුණහොත් ගෝලීය නාවික ප්‍රවාහනයට ඉතා තීරණාත්මක වන බාබ් අල් මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දමන බවට හූති සංවිධානය මීට පෙර දැඩි ලෙස අනතුරු අඟවා තිබිණි. මේ අතර, මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති ඇමෙරිකානු හමුදාවට අණදෙන මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානියා මේ වන විට සෞදි අරාබියට ළඟා වී ඇති බව වාර්තා වන අතර, හූති සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ප්‍රතිචාර දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති බව පෙනෙන්නට තිබේ.

You may have missed