තාක්ෂණික නවීකරණ ව්‍යාපෘතියේ බරපතළ දෝෂ සහගත තක්සේරු හේතුවෙන් ආගමන විගමන අංශයට ඩොලර් මිලියන 134ක පාඩුවක්!
ආගමන විගමන නවසීලන්තය (Immigration New Zealand – INZ) විසින් ක්‍රියාත්මක කරන ලද නව තාක්ෂණික පරිවර්තන ව්‍යාපෘතියක ප්රතිලාභ “බරපතළ දෝෂ සහගත උපකල්පන” (significantly flawed assumptions) මත ඩොලර් මිලියන 134කින් අධිතක්සේරු කර ඇති බව අනාවරණය වී තිබේ. ව්‍යාපෘතියේ අපේක්ෂිත ඵලදායිතා ඉතුරුම් ලබා ගැනීම ප්‍රායෝගිකව අසීරු කරුණක් බව පවසමින් INZ හි නව ප්‍රධානියා විසින් එම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
‘Our Future Services’ (OFS) නමින් හැඳින්වෙන ඩොලර් මිලියන 336ක මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත සමස්ත ඩොලර් මිලියන 453ක ඉතුරුම්වලින් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් මෙලෙස අධිතක්සේරු කර තිබීම විශේෂත්වයකි. මෙම තත්ත්වය මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියහොත් එයින් ලැබෙන ඉතුරුම්වලට වඩා වියදම වැඩි වනු ඇති අතර, අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතිය තෝරා ගැනීමට මුල් වූ ප්‍රධාන සාධකය වූයේ එහි මූල්‍යමය වාසිදායකබවයි. කාර්ය මණ්ඩලය කප්පාදු කිරීමෙන් ලැබෙන පොදු ඉතුරුම් සහ ඵලදායිතා වර්ධනයන් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ වැරදි ගණනය කිරීම් සිදු වී ඇති බව අනාවරණය වී ඇත.
ආගමන විගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් (Erica Stanford) සඳහන් කළේ මෙම දත්ත නිවැරදි නොවීම කණගාටුදායක වුවද, තවදුරටත් වියදම් දැරීමට පෙර ව්‍යාපෘතිය තාවකාලිකව නවතා එහි වැරදි නිවැරදි කර ගැනීම වඩාත් වැදගත් බවයි. ස්වාධීන තත්ව සහතික කිරීමේ සමාලෝචන සහ භාණ්ඩාගාර සමාලෝචන හරහා අනුමත වූ මෙම ව්‍යාපෘතිය සහ බයෝමෙට්‍රික් යාවත්කාලීන කිරීමේ (BCU) වැඩසටහන මේ වන විට රාජ්‍ය සේවා කොමිසමේ (Public Service Commission) දැඩි සමාලෝචනයකට ලක්වෙමින් පවතී.
