චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හොඳ හවුල්කරුවන් විය යුතුයි: නවදිල්ලි නුවර පැවති සමුළුවේදී දෙරටේ නායකයින්ගෙන් ඓතිහාසික එකඟතාවක්!

6aa55f7abdc38.image

චීනය සහ ඉන්දියාව යනු කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑමක් කළ හැකි රටවල් දෙකක් වන අතර, දෙරට කවරදාකවත් ප්‍රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හොඳ හවුල්කරුවන් විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික එකඟතාවකට පැමිණ තිබේ. ඉන්දියාවේ නව දිල්ලි නුවර අතිශය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන 18 වන බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සමඟාමීව, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මෙම තීරණාත්මක එකඟතාව ප්‍රකාශයට පත් විය. විමුක්ති එස් රුද්‍රිගු මහතා වාර්තා කරන ආකාරයට, දෙරටේ නායකයන් අතර පැවති මෙම සාකච්ඡාව ආසියානු කලාපයේ ස්ථාවරත්වය සහ අනාගත ආර්ථික ගමන තීරණය කරනු ලබන ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම හමුවේදී අදහස් දැක්වූ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සඳහන් කර ඇත්තේ චීනය සෑම විටම ඉන්දියාව සමඟ පවතින සබඳතා දෙස ඉතා උපායමාර්ගික සහ දිගුකාලීන කෝණයකින් බලන බවයි. පසුගිය වසර දෙක තුළ අගමැති මෝදි සමඟ පවත්වන ලද සාර්ථක හමුවීම් මඟින් දෙරට අතර සබඳතා අලුතින් ආරම්භ කර තවදුරටත් වර්ධනය කරගැනීමට විශාල හැකියාවක් ලැබුණු බවත්, ද්විපාර්ශ්වික වෙළෙඳාම වාර්තාගත ලෙස ඉහළ නැංවීමට මඟ පෑදුණු බවත් ඔහු සිහිපත් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවරභාවය සහ තිරසාර වර්ධනය උදෙසා චීන ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු හතරක් ඉදිරිපත් කළේය. පළමුවැන්න නිවැරදි උපායමාර්ගික දැක්ම වන අතර, එහිදී චීනය සහ ඉන්දියාව සතුරන් නොව හවුල්කරු වන බවත් එකිනෙකට තර්ජනයක් නොව සංවර්ධන අවස්ථාවක් බවත් අවධාරණය කළේය. දෙවැන්න ජයග්‍රාහී සහයෝගීතාව හරහා පොදු සංවර්ධනයට අවධානය යොමු කිරීමයි. තෙවැන්න ගෞරවාන්විතව හා නම්‍යශීලීව දේශසීමා ආරවුල් විසඳා ගැනීම වන අතර, සිවුවැන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ ජී20 වැනි ගෝලීය වේදිකාවලදී අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම වේ.

මෙම සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ ජනාධිපති ෂී සමඟ පැවැත්වූ මෙම සාර්ථක සාකච්ඡාව දෙරටේ බිලියන 2.8ක ජනතාවගේ පොදු යහපතට සෘජුවම හේතු වූ බවයි. ඉන්දියාව සෑම විටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, චීනය සමඟ පවතින සබඳතාවලට කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමක් නොමැති බවත් අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම, තායිවානය සහ ටිබෙටය සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින ස්ථාවර ප්‍රතිපත්තිය කිසිදු අයුරකින් වෙනස් නොවන බවත්, ඉන්දීය භූමිය තුළ කිසිදු චීන විරෝධී ක්‍රියාකාරකමකට හෝ බලවේගයකට ඉඩ නොදෙන බවත් ඔහු සහතික විය. චීනය ලබා දෙන සහයෝගය අගය කළ ඉන්දීය අගමැතිවරයා, මීළඟ වසරේ චීනය මුලසුන හොබවන බ්‍රික්ස් සමුළුව සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද මෙහිදී එකඟ විය.

You may have missed