2027 වසර සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් (ADB) සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 6.7 ක ප්‍රාග්ධන මුදලක්!

images

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියා සංවර්ධන බැංකුව (ADB) විසින් ක්‍රියාත්මක කරනු ලබන (2025-2030) දැවැන්ත මූල්‍ය ආධාර වැඩසටහන යටතේ, 2027 වසර සඳහා රුපියල් බිලියන 6.7 ක ප්‍රාග්ධන මුදලක් ලබා දීමට නියමිතව තිබේ. විශ්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2027 වසර සඳහා වන “ප්‍රතිඵල පාදක සැලසුම් සංවර්ධන” (Results Based Plan Development) වැඩසටහනේ සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ සහ මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල Jetwing Lake හෝටලයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වසරේදී එක් පළාතකට රුපියල් මිලියන 750 ක දළ මුදලක් හිමි වන අතර, පළාත් 9 ට අදාළ වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කොට නොවැම්බර් මස මැද වන විට මුදල් කොමිසමට ලබා දිය යුතුව ඇත. ඒ අනුව 2027 ජනවාරි මස සිට අදාළ අරමුදල් පළාත් වෙත වෙන් කරමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වේ. ආසියා සංවර්ධන බැංකුවේ ‘ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය’ (Results-Based Lending – RBL) වැඩසටහන යටතේ ඩොලර් මිලියන 100 ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9 ක විදේශ ප්‍රදානයක් අනුමත වී ඇති අතර, එකඟ වූ සෞඛ්‍ය ඉලක්ක සහ දර්ශක (DLIs) සපුරා ඇති බව තහවුරු වීමෙන් පසු අදියරෙන් අදියර මෙම අරමුදල් නිදහස් කරනු ලැබේ.

You may have missed