පාස්කු ප්‍රහාරය පිළිබඳ නව හෙළිදරව්වක්: ISIS මතවාදීන් 129ක් ගැන දැන සිටියත් පියවර නොගත් බවට රවී සහ ශානිට චෝදනා!

1784301112-suresh_L

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

2026 ජූලි 18 — පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට පෙර, සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් 129 දෙනෙකු පිළිබඳව නිශ්චිත තොරතුරු සහ බුද්ධි වාර්තා ලැබී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට අභියාචනාධිකරණය හමුවේ බරපතළ චෝදනා එල්ල වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි සලකා බැලූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.

එල්ල වූ ප්‍රධාන චෝදනා

ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා රැසක් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ අසමත්කම නිසා ගිලිහී ගිය බවයි.

  • බුද්ධි වාර්තා නොසලකා හැරීම: 2019 ජනවාරි 31 වැනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් 129 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ බව ජනක් ද සිල්වා කොමිසම් වාර්තාවේ පවා සඳහන් බව ඔහු පෙන්වා දුන්නේය.
  • තොරතුරු තිබියදීත් නිහඬවීම: 2017 වසරේ සිට ප්‍රහාරය සිදුවන තෙක් බුද්ධි අංශ මගින් වාර්තා 97ක් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණි. එසේ තිබියදීත් සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීම ගැටලු සහගත බව නීතිඥවරයා අවධාරණය කළේය.
  • ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීම: 2019 අප්‍රේල් 04 වැනිදා ඉන්දීය ‘රෝ’ (RAW) බුද්ධි අංශය ලබා දුන් ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ ලිපිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාලයට ලැබුණද, එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ඔහු පැවසීය. එම ලිපිය අදාළ අංශ වෙත යොමු කෙරුණේ ප්‍රහාරය එල්ල වී පසුදා වීම අතිශය සැකසහිත බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

“පියවර ගැනීමට හැකියාවක් නැහැ”

තමා ජනක් ද සිල්වා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි පිළිබඳව සිහිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැන සිටියද “මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් නැහැ” යනුවෙන් රවී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබූ බවයි.

මෙවැනි අතීත පසුබිමක් සහිත නිලධාරීන් වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල අපක්ෂපාතීත්වය පිළිබඳව තමා ප්‍රශ්න කරන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

අදාළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන ජූලි 21 වැනිදා දක්වා කල් තැබිණි.

You may have missed