ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන් අතර ලිංගාශ්‍රිත රෝගවල ඉහළයාමක්

Symptoms-of-Sexually-Transmitted-Diseases

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – සෞඛ්‍ය විශේෂ වාර්තාව

2026 ජූලි 02 (කොළඹ, ශ්‍රී ලංකාව) — ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය: පසුගිය වසරවලට සාපේක්ෂව පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිතව බෝවන රෝග (STI) සහ HIV ආසාදිතයන් වාර්තා වීමේ ඉහළයාමක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ඒකක විසින් සිදු කළ සාකච්ඡාවලින් පසු, මෙවැනි සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ ළමා කටයුතු අමාත්‍යවරිය සමඟ එක්ව රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. රෝගී වූ ඇතැම් දරුවන් ඒ පිළිබඳව නොදැනුවත්වම එයට ගොදුරු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඩිජිටල් ඇබ්බැහිවීම සහ මත්ද්‍රව්‍ය අවදානම: මේ අතර, මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තිරවලට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් දරුවන්ගේ මොළයේ රසායනික සංයුතියේ වෙනස්කම් සිදුවිය හැකි බවයි. මෙය ඔවුන්ව අනාගතයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹවීමේ ඉහළ අවදානමක් පවතින බවත් ඔහු අවධාරණය කරයි.