ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටැක්සි සහ ත්‍රිරෝද රථ රියදුරන්ට ප්‍රාදේශීය භාෂාව ඉගෙන ගැනීමට තවත් වසරක කාලයක් ලබා දෙයි
මුම්බායි, ඉන්දියාව —
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටැක්සි සහ ත්‍රිරෝද රථ (ටුක්-ටුක්) රියදුරන්ට මරාඨි භාෂාව ඉගෙන ගැනීම සඳහා අමතර එක් වසරක කාලයක් ලබා දී තිබේ. ප්‍රාන්තයේ නිල භාෂාව වන මරාඨි භාෂාවෙන් මූලික සංවාද පැවැත්වීමේ හැකියාව රියදුරන් සතු විය යුතු බවට පැනවූ නව නීතිය දැඩි විරෝධතා මෙන්ම නොසන්සුන්තාවන්ටමුහුණ දීමත් සමඟ රජය මෙම තීරණය ගෙන ඇත.
ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් විසින් පසුගිය අගෝස්තු 20 වැනි දින සිට රියදුරන්ගේ මරාඨි භාෂා දැනුම පරීක්ෂා කිරීම ආරම්භ කර තිබූ අතර, ඉන් අසමත් වන රියදුරන්ට තම බලපත්‍ර අත්හිටුවීමේ හෝ අවලංගු වීමේ අවදානමකට මුහුණ දීමට සිදු විය. මගීන් සමඟ සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත ගමන්වාර තහවුරු කිරීම රජයේ අරමුණ වුවද, වෙනත් ප්‍රාන්තවල සිට රැකියා සොයා මහාරාෂ්ට්‍ර වෙත පැමිණි සංක්‍රමණික රියදුරන්ගේ ජීවනෝපායට එය දැඩි තර්ජනයක් විය. මේ හේතුවෙන් ඇති වූ විරෝධතා සලකා බලාමහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් විසින් රියදුරන්ට භාෂාව හැදෑරීම සඳහා අමතර කාලයක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
භාෂා අනන්‍යතාවය සහ දේශපාලන පසුබිම
මෙම තත්ත්වය මහාරාෂ්ට්‍රහි දශක ගණනාවක් පුරා පැවති භාෂාව, සංක්‍රමණය සහ රැකියා අවස්ථා සම්බන්ධ දේශපාලන වාද විවාද යළි කරළියට ගෙනැවිත් තිබේ. 1960 දී මරාඨි බසින් යුතු ප්‍රාන්තයක් ලෙස මහාරාෂ්ට්‍ර බිහි වූ දා පටන් මුම්බායි නගරය වෙත ඇදී ආ මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයන් සමඟ මෙම භාෂා ගැටුම මුල් බැසගෙන ඇත. රජය විසින් රියදුරන්ට මූලික වැටහීමක් ලබා දීමේ අරමුණින් විශේෂ පුහුණු පන්ති සංවිධානය කර ඇති අතර, මේ වන විටත් රියදුරන් 166,000කට වැඩි පිරිසක් එම පුහුණුව සාර්ථකව අවසන් කර ඇත.
