වත්මන් ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක් කරලා – දිලිත් ජයවීර මහතාගෙන් දැඩි චෝදනාවක්
දේශපාලන පුවත්
2026 ජූලි 06 (කොළඹ) — වත්මන් රජය බලයට පත්වීමට සහය දැක්වූ ව්‍යවසායකයින් ඇතුළු සෑම පාර්ශ්වයක්ම මේ වන විට දැඩි රැවටීමකට ලක් කර ඇති බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
කෝට්ටේ ප්‍රදේශයේදී ඊයේ (05) පැවැත්වුණු “දිරිය මිනිසුන් ගොඩනගමු – ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ ව්‍යවසායක සහ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
දිලිත් ජයවීර මහතා දැක්වූ අදහස්:
- දේශපාලන වේදිකාවේ පොරොන්දු සහ යථාර්ථය: “මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් ජනතාව තුළ ලොකු විශ්වාසයක් තිබුණා. වසර 76ක ඉතිහාසයේ සිදු නොවූ විශාල වෙනසක් කරනවා කියලා ඔවුන් වේදිකාවල කිව්වා. ඛනිජ වැලි පාවිච්චි කරන හැටි, කෙසෙල් ගෙඩියේ නැට්ටෙන් ප්‍රයෝජන ගන්න හැටි වගේ උදාහරණ පෙන්වමින් රටේ මිනිස්සුන්ට පණ දෙනවා කිව්වත්, අද වෙනකොට ඒ කිසිවක් සිදු වෙලා නැහැ. ඔවුන් දිගින් දිගටම දුප්පත් මිනිස්සුන්ව දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කළා.”
- දේශීය ව්‍යවසායකයා මුහුණ දෙන අර්බුදය: “දුප්පත් මිනිස්සුන්ට ‘නැගිටපල්ලා ඔබේ වාරය ඇවිල්ලා’ කියලා බලයට ආපු අය, අද රටේ හොඳින් ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයින්ව පීඩාවට පත් කරනවා. කිසිම හිතක් පපුවක් නැතුව, ප්‍රාදේශීය සභා මඟින් සාර්ථක ව්‍යාපාර වසා දැමීමට කටයුතු කරන්නේ ඔවුන්ගේ තිබෙන කුහකකම නිසයි. මිනිහෙක් දියුණු වෙනවා දැක්කම මේ පාලකයින්ගේ ඇඟෙන්ම කුහකත්වය මතුවෙනවා.”
- පාස්කු ප්‍රහාරය සහ ජාත්‍යන්තර විමර්ශන: ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගී වූ අවස්ථාව සිහිපත් කරමින් ජයවීර මහතා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඇමරිකානු ජාතිකයින් පස්දෙනා වෙනුවෙන් ඇමරිකානු විමර්ශකයින් විසින් ලොව හොඳම ගණයේ විමර්ශනයක් සිදු කර වාර්තාවක් සකස් කර නඩු පවරා ඇති බවයි. නමුත් වත්මන් රජය එම විද්‍යාත්මක වාර්තා බැහැර කරමින්, ‘කෙසෙල් කොටන් දේශපාලනයක්’ කරමින්, රට වෙනුවෙන් සේවය කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ඉලක්ක කර ගනිමින් දේශපාලන පළිගැනීම්වල නිරත වන බවට ද ඔහු චෝදනා කළේය.
වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ජාත්‍යන්තරය හමුවේ රට පිළිබඳව ලැජ්ජාවක් ඇතිවන තත්ත්වයක් උදාවී ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
