මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එළිවෙයි

image_eeee97dad6

ශ්‍රී ලංකා පුවත්

2026 ජූලි 10 — මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා මේ වන විට නිකුත් වී තිබේ. එම වාර්තාවන්ට අනුව, ඔවුන්ගේ මරණයට හේතු වී ඇත්තේ හිස සහ පපු ප්‍රදේශවලට මොට ආයුධවලින් එල්ල කරන ලද දැඩි ප්‍රහාර හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතළ හානි බව තහවුරු වී ඇත.

මරණ පරීක්ෂණයේ තොරතුරු:

  • වෛද්‍ය කණ්ඩායම: විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන ඩබ්.ඒ. එස්.ආර්. වික්‍රමආරච්චි, රමේෂ් අලගියවන්න, එන්.එස්.පී. විජයරත්න, ආර්.එෆ්. රාජපක්ෂ සහ ඩී.ඩී. ප්‍රසන්න අප්පුහාමි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරිණි.
  • මියගිය නිලධාරීන්: පහරදීම්වලට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් හත්දෙනා වන්නේ ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රකුමාර, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, බන්ධනාගාර නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩී. තරංග, ටී.එම්.ආර්. තිලකසිරි, බී.එන්. තරංග සහ ආර්.පී.ආර්. සංජීව යන මහත්වරුන්ය.

මීට අමතරව, බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමක ජී. උපාලි මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.