ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන්ට නීතිඥවරුන් හමුවීමට විශේෂ ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කිරීමට නියෝග

image_b854dedbd3

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (කොළඹ, ශ්‍රී ලංකාව) — ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරනු ලබන සැකකරුවන්ට සිය නීතිඥවරුන් පුද්ගලිකව හමුවී උපදෙස් ලබා ගැනීමට හැකි පරිදි, රහස්‍යභාවය ආරක්ෂා වන ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අදාළ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද (27) නියෝග කළේය.

සැකකරුවෙකුට තමාගේ කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කරමින් නීතිඥවරයා වෙත ඉදිරිපත් කිරීමට සහ සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ව්‍යවස්ථානුකූල අයිතියක් ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. පොලිස් විමර්ශනවලට බාධාවක් නොවන පරිදි මෙම පහසුකම සලසන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, පොලිස් ස්ථානයේ ඉඩකඩ මදිවීම හෝ ආරක්ෂක තර්ජන වැනි කරුණු පදනම් කරගෙන සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කළේය.

මෙම නියෝගය නිකුත් වූයේ ගනේමුල්ලේ සංජීව ඝාතනයට ගිනි අවිය සැපයූ බවට සැකපිට රඳවා සිටින ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා හමුවීමට ගිය අවස්ථාවේදී, කොළඹ අපරාධ කොට්ඨාසයේ පවතින තදබදය නිසා නීතිඥවරයාට සිය සේවාදායකයා සමඟ පෞද්ගලිකව සහ රහසිගතව උපදෙස් හුවමාරු කර ගැනීමට නොහැකි වූ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.