ආසියා-පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ වෙයි!

MediaFile_20260906_052024_013

ආසියා පැසිෆික් කලාපයේ මාධ්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුත් ආසියා-පැසිෆික් මාධ්‍ය සංසදය චීනයේ දකුණු ගුවැන්ඩොං පළාතේ ෂෙන්ෂෙන් නගරයේදී නිල වශයෙන් ආරම්භ කර තිබේ. 2026 APEC ‘චීන වසර’ යටතේ චීනය පුරා ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් මාලාවේ සුවිශේෂී කොටසක් ලෙස මෙම සමුළුව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ලෝකයේ රටවල් සහ කලාප 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කීර්තිමත් නියෝජිතයින් 400කට වැඩි පිරිසක් එක්ව සිටිති. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.

මෙම සංසදයට සමගාමීව චීනයේ සහ විදේශයන්හි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 16ක් එකතුවී ‘ආසියා පැසිෆික් මාධ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන’ සඳහා වූ සූදානම් වීමේ විශේෂ කමිටුවක්ද මෙහිදී පිහිටුවනු ලැබීය. සංසදයේ නිල කටයුතු ආරම්භ වීමට පෙර, ඊට සහභාගී වූ විදෙස් නියෝජිතයින් පිරිසක් ගුවැන්ෂෝ, ෆොෂාන්, ඩොන්ගුවාන්, ෂෙන්ෂෙන්, ෂුහායි සහ ෂොන්ග්ෂාන් ඇතුළු ගුවැන්ඩොං පළාතේ ප්‍රධාන නගර රැසක සංචාරය කරමින් එහි ආර්ථික හා තාක්ෂණික දියුණුව පිළිබඳව අවබෝධයක් ලබා ගත්හ. 2026 APEC ‘චීන වසර’ තුළ චීනයේ නගර විවිධ ප්‍රදේශවල වැඩසටහන් 300කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිත අතර, එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන 33වන APEC ආර්ථික නායකයින්ගේ සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී ෂෙන්ෂෙන් නගරයේදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. චීනයේදී APEC ආර්ථික නායකයින්ගේ සමුළුවක් පවත්වන තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2001 වසරේ ෂැංහයි නුවරදී සහ 2014 වසරේ බීජිං නුවරදී මෙම සමුළුව සාර්ථකව පවත්වා තිබුණි.

You may have missed