ශ්‍රී ලංකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර විශේෂ හමුවක්!
ශ්‍රී ලංකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් (Marc-André Franche) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. අද (07) පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳවය.
එමෙන්ම, ඉදිරියේදී එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ රට තුළ ඇති විය හැකි ආපදාවලට සාර්ථකව මුහුණදීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන මෙම ආපදා කළමනාකරණ සහ පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව මාර්ක් ඇන්ඩෲ මහතා මෙහිදී වැඩිදුරටත් සහතික විය. මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හවුල්කාරිත්ව සහ සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බාකීර් මාකර් මහතා සහ ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ නිලධාරිනී වගීෂා පෙරේරා මහත්මිය ද සහභාගී වී සිටියහ.
