ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ආසන්නයට ඉහළට!
අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන සෘජු ප්‍රහාර සහ යුද ගැටුම් හේතුවෙන්, මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට පවතින බිය මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.27ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.09ක් ලෙස සටහන් වී ඇත. මේ හරහා බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව වෙත දැඩි ලෙස ළං වී තිබේ.
පසුගිය දිනවල අමෙරිකාවට සම්බන්ධ නෞකා දෙකකට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කළ අතර, එයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව විසින් ඉරාන ඉන්ධන නෞකා තුනකට ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙම ගැටුම්වලදී එක් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ඇති බව වාර්තා වේ. දෙපාර්ශ්වය අතර උද්ගත වී ඇති මෙම යුදමය වාතාවරණය නිසා අත්‍යවශ්‍ය තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ තහනම් කලාපයක් නම් කිරීමටද ඉරානය සූදානම් වන බව පැවසීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තවත් අස්ථාවර වී තිබේ. පසුගිය සතියේද බ්‍රෙන්ට් මිල සියයට 7.8කින් සහ WTI මිල සියයට 10කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම් වාර්තා කර තිබුණි.
