ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමට සාමූහිකත්වය මෙන්ම කලාවද අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය!

MediaFile_20260912_175446_558

ජීවිතය සතුටින් සහ තෘප්තිමත්ව ගත කිරීමට නම් සාමූහිකත්වය, එකිනෙකා තේරුම් ගැනීම, සමගිය මෙන්ම කලාවද අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. සත්කෝරළයේ කලා උරුමය පුනරුදයකට ලක් කරමින් රසවින්දනාත්මක හා සංස්කෘතික වශයෙන් බලගැන්වූ මිනිසෙකු බිහිකිරීමේ අරමුණින් වයඹ ජනකලා පදනම සහ සියපත කලා සංගමය එක්ව සංවිධානය කළ විශේෂ අධ්‍යාපනික සහ සංස්කෘතික වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. කුරුණැගල වයඹ ජන කලා මධ්‍යස්ථානයේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අද (12) දින සිට මේ මස 18 වන දින දක්වා දින හතක් පුරා උදේ 10.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ.

පාසල් සිසුන්, ගුරුවරුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සංවිධානය කර ඇති මෙම සංස්කෘතික මංගල්‍යයේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය සහ ජනකලා පදනමේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමිය විසින් විවෘත කරන ලදී. තවද, වයඹ පළාත නියෝජනය කරමින් කලා ක්ෂේත්‍රයට සුවිශේෂී සේවයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන් වන මහාචාර්ය මුදියන්සේ දිසානායක, නිබිරියාගම බණ්ඩාර, ඇන්ටන් කුරේ සහ චරිත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මෙහිදී අග්‍රාමාත්‍යතුමිය අතින් ඇගයීමට ලක් වූහ. කොන්ක්‍රීට්වලින් නගර සෑදීමෙන් පමණක් හිස් ජීවිත බිහි වන බවත්, සැබෑ තෘප්තිය ලැබිය හැක්කේ කලාව, සංස්කෘතිය සහ මිනිස් සබඳතා හරහා පමණක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

You may have missed