එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක නව වාර්තාවක් ඉදිරිපත් කෙරේ!

Screenshot 2026-09-09 at 11.50.47 AM

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු පිටු 16කින් සමන්විත මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ යාවත්කාලීන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීම, එම පනත යටතේ දිගුකාලීනව රඳවා සිටින පිරිස් මුදාහැරීම, හමුදාව යටතේ පවතින උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සහ අධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය හා ධුරයේ ස්ථාවරත්වය දේශපාලන බලපෑමකින් තොරව පවත්වාගෙන යාම ඇතුළු ප්‍රධාන නිර්දේශ රැසක් මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස් ආවා ඩාබෝ මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. විශේෂයෙන්ම රටේ අධික ණය බර හේතුවෙන් 2026 අයවැයෙන් 82%ක්ම ණය ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුව ඇති බවත්, එය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා යොදවන මුළු මුදල මෙන් දෙගුණයක් වන බැවින් එය බරපතළ මානව හිමිකම් ගැටලුවක් බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, රටට කඩිනමින් සංවර්ධන සහාය ලබා දීමට සහ සැබෑ වගකීමක් හා ජාතික සංහිඳියාවක් වෙනුවෙන් සිදු කරන නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බවද ඇය අවධාරණය කළාය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා මෙම වාර්තාවට එදිරිව ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය වහාම ඉදිරිපත් කළේය. බාහිර සාක්ෂි සෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළ ඒ මහතා, ගගිය වසර තුළ සංහිඳියාව සහ මානව හිමිකම් සහතික කිරීම සඳහා රජය විවිධ පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර පාර්ශ්වවල උපදෙස් ලබා ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර නව පනතක් ගැසට් කර ඇති අතර එය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. තවද, මාර්ගස්ථ සුරක්ෂිතතා පනතේ සංශෝධන සිදු කර අවසන් කර ඇති බවත්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සහයෝගීතා හා සංහිඳියා කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

You may have missed