නවසීලන්තයේ නිවසේදී නිෂ්පාදනය කළ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් නියමුවා මිය යයි!
නවසීලන්තයේ උතුරු කැන්ටබරි (North Canterbury) හි අයියර්වෙල් (Eyrewell) ගුවන් යානා තොටුපළ ආසන්නයේදී පුද්ගලයෙකු විසින් නිවසේදී නිෂ්පාදනය කරන ලද (home-built) හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්‍රයිස්ට්චර්ච් සිට කිලෝමීටර් 25ක් පමණ වයඹ දෙසින් පිහිටි මෙම ප්‍රදේශයේ අඟහරුවාදා සවස 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, හදිසි සේවා නිලධාරීන් එම ස්ථානයට ළඟ වන විටත් යානයේ තනිව ගමන් කළ නියමුවා මියගොස් සිට ඇත.
පොලිස් ජ්‍යෙෂ්ඨ සැරයන් ඩෑන් ඕවර්එන්ඩ් ප්‍රකාශ කළේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority) විසින් මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි. මියගිය නියමුවාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබා දීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර, අනතුරට හේතු වූ පසුබිම පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. ප්‍රවාහන අනතුරු විමර්ශන කොමිෂන් සභාව (TAIC) සඳහන් කර ඇත්තේ මූලික තොරතුරු රැස්කිරීමෙන් පසු ඔවුන් වෙනම පරීක්ෂණයක් නොපත්වීමට තීරණය කර ඇති බවයි.
