සුන්දර හිමාලයේ අසුන්දර ඇතුලාන්තය: ග්ලැසියර වේගයෙන් දියවීමෙන් බරපතළ පාරිසරික අර්බුදයකට!

Kanchenjunga-border-Himalayas-Nepal-India

හිමාලයේ ග්ලැසියර දියවීම පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, කලාපීය පාරිසරික තත්ත්වයන් නිසි ලෙස නිරීක්ෂණය කිරීමේ පුළුල් පරතරයක් පැවතීම නිසා එම කලාපය අතිශයින් අනතුරුදායක සීමාවකට ළඟා වෙමින් ඇති බවත් නවතම විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. ‘Systemiq’ ගෝලීය උපදේශන ආයතනය විසින් ‘ඒකාබද්ධ කඳුකර මුලපිරීම’ (Integrated Mountain Initiative) සහ ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික දායකත්වයෙන් සකස් කරන ලද මෙම වාර්තාව මඟින් හිමාලයානු කලාපය මුහුණ දී සිටින දැවැන්ත පාරිසරික අභියෝග මනාව පැහැදිලි කරයි.

වාර්තාවට අනුව, හිමාලයානු ග්ලැසියර මී දශකයකට පෙර පැවති වේගයට වඩා 65% කින් වැඩි වේගයකින් ස්කන්ධය අහිමි කර ගනිමින් පවතී. කලාපය පුරා ඇති ග්ලැසියර 40,000 අතරින් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබන්නේ ග්ලැසියර 21ක් පමණක් වීම බරපතළ ගැටළුවකි. මිලියන සංඛ්‍යාත ජනතාවකට ජලය සපයන මෙම ස්වභාවික ජල පද්ධතියට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20%ක් පමණ රඳා පවතින නමුත්, රටේ සමස්ත ව්‍යසනවලින් 35%ක්ම සිදුවන්නේ මෙම කලාපය තුළය. මීට අමතරව, ග්ලැසියර දියවීමට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තැනිතලා ප්‍රදේශවල ගඩොල් උදුන් ආදියෙන් මුදා හැරෙන ‘කළු කාබන්’ (Black Carbon) දූවිලි තට්ටු හිම මත තැන්පත් වීමයි. මෙම දූෂණය කලාපීය රටවලට සෘජුවම පාලනය කළ හැකි සාධකයක් වන අතර, කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී හිමාලය ආශ්‍රිතව බරපතළ ව්‍යසන රැසක් ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

You may have missed