රජයේ කීවෙසේවර් දායකත්වය යථා තත්ත්වයට පත්කිරීමට වත්මන් තත්ත්වය යටතේ පොරොන්දු විය නොහැක: ලේබර් නායක ක්‍රිස් හිප්කින්ස්!
වත්මන් රජය විසින් මීට පෙර කීවෙසේවර් (KiwiSaver) රජයේ දායකත්වය කප්පාදු කිරීම දැඩි ලෙස විවේචනය කළද, තම පක්ෂය බලයට පත් වුවහොත් එම කප්පාදු කළ මුදල යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් ආර්ථික තත්ත්වය යටතේ පොරොන්දු විය නොහැකි බව ලේබර් පක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) ප්‍රකාශ කර තිබේ.
2025 අයවැය මඟින් රජය විසින් කීවෙසේවර් රජයේ දායකත්වය ඩොලර් 521 සිට ඩොලර් 260 දක්වා අඩපණ කළ අතර, ඩොලර් 180,000කට වඩා වැඩි ආදායමක් ලබන්නන් සඳහා දායකත්වය සීමා කරන ලදී. මේ සම්බන්ධයෙන් ‘Morning Report’ වැඩසටහන සමඟ අදහස් දක්වමින් හිප්කින්ස් කියා සිටියේ ජාතික පක්ෂය විසින් මෙම දායකත්වය කප්පාදු කර ඇති නමුත්, රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ තමාට ඉටු කළ හැකි පොරොන්දු පමණක් ලබා දෙන බවයි. සේවායෝජක දායකත්වය 6% දක්වා ඉහළ නංවන අතරම සේවකයින්ට අවශ්‍ය නම් දායකත්වය තාවකාලිකව නැවැත්වීමට හෝ අඩු කිරීමට ඉඩ සලසමින් ලේබර් පක්ෂය විසින් මෑතකදී එළිදක්වන ලද කීවෙසේවර් ප්‍රතිපත්තිය මඟින් ජනතාවට වඩාත් නම්‍යශීලී බවක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
