ගුල්ෆ් කලාපයේ උණුසුම්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2% ඉක්මවා ඉහළට!
සෞදි අරාබියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නාවික යාත්‍රා වෙත එල්ල වී ඇති බලපෑම් සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් (East-West pipeline) තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
පවතින සැපයුම් අර්බුද හමුවේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් (2.77%) ඉහළ යමින් ඩොලර් 107.51ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.27කින් (2.27%) වැඩි වී ඩොලර් 103.20ක් දක්වා ඉහළ ගොස් ඇත. ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් 4%කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගිය සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගය අක්‍රිය වීම සහ බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධියේ පාලනය ආශ්‍රිතව මතුව ඇති තත්ත්වයන් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉකුත් ජූලි මාසයෙන් පසු බොරතෙල් බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර, ඕමානයේ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක නොවුවහොත් හෝ නල මාර්ගය යථා තත්ත්වයට පත් නොකළහොත් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
