ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනවත් නොකළ තරමේ ඒකාධිපති පාලනයක් වත්මන් ආණ්ඩුව ගෙන යනවා – දිලිත් ජයවීර!
බුත්තල, ශ්‍රී ලංකාව —
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද නොකළ මට්ටමේ ඒකාධිපති පාලනයක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා දැඩි චෝදනාවක් එල්ල කරයි.
බුත්තල පොළ භූමියේදී පැවති සර්වජන බලයේ මොනරාගල දිස්ත්‍රික් කොට්ඨාස නායකයින් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මහනායක හිමිවරුන්ගේ අනුශාසනා පවා නොසලකා හැරීම
රටේ ප්‍රජාතන්ත්‍රවාදය අද වන විට අභියෝගයට ලක්ව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙරට කිසිදු හිටපු ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ සහ මහනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පවා නොපිළිගන්නා තැනට පත්ව ඇති බව ප්‍රකාශ කළේය.
“මට අවශ්‍ය දේ මම කරනවා, මහනායක හාමුදුරුවෝ කිව්වත් අහන්නේ නැහැ” යනුවෙන් පවසන මෙවැනි ඒකාධිපති පාලකයකු බිහි කිරීම සඳහා රටේ සාමාන්‍ය ජනතාව කටයුතු නොකළ බවත්, එය ඇතැම් ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දේශපාලන සංස්කෘතිය සහ පිය උරුමයන් පිළිබඳ විවේචනය
මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, මෙරට දේශපාලනය තුළ පවුල් බලය සහ පිය උරුමයෙන් නායකත්වය ලැබෙනවා යැයි සිතන මතවාදය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු කාලය එළඹ ඇති බව අවධාරණය කළේය.
කිසිදු දෙයක් පිය උරුමයෙන් උරුම නොවන බවත්, සැබෑ උරුමය ලැබෙන්නේ රටේ මහජනතාවගේ සෙනෙහස සහ විශ්වාසය තුළින් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් ජනතාවගේ හෘදසාක්ෂියට එකඟව රට වෙනුවෙන් නිවැරදි දේශපාලන ගමනක් යා යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
