ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්රයේ ඓතිහාසික ගිවිසුම් දෙකක් බැංකොක් නුවරදී අත්සන් කෙරේ!
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින්, කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයින් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමකට තායිලන්තයේ බැංකොක් නුවරදී නිල වශයෙන් අත්සන් තබා තිබේ. දෙරටේ අදාළ බලධාරීන් අතර පැවති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම් ඇති කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ගිවිසුම් දෙක සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද, තායිලන්තය වෙනුවෙන් එරට කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝර්න්විවාත් මහතාද අත්සන් තැබූහ. මෙමඟින් ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැඳවීමේ සහ සේවයේ යෙදවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත්, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමත් අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂිත, විධිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කම්කරු සංක්‍රමණ පුළුල් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ගිවිසුම්ගත වීම හැඳින්විය හැකිය.
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස, ස්ථාපිත නීතිමය රාමුව යටතේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකා සේවකයින් 10,000 දෙනෙකු බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය ද මීට පෙර අනුමැතිය ලබා දී ඇත. කම්කරු ප්‍රතිපත්ති සහ භාවිතයන්, ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම නිෂ්පාදිතය, කම්කරු ආරක්ෂණය මෙන්ම නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන ක්ෂේත්රවල සමීප සහයෝගීතාව සඳහා මෙම අවබෝධතා ගිවිසුම මඟින් පුළුල් රාමුවක් සපයනු ලබයි. තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ සේවකයින්ට එරට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ස්තූතිය පළ කළ අතර, සේවකයින්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ සමාජ ආරක්ෂණය අඛණ්ඩව තහවුරු කිරීමේ වැදගත්කමද දැඩිව අවධාරණය කළේය.
