ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ වංචා නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරයි!
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරීස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් මත, මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මීට වසර 13කට පෙර එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතර, ආයතන දෙකක් එක්ව මෙලෙස විමර්ශන සිදුකිරීම අධිකරණ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවේ. මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී විජේනායක මහත්මිය ඇතුළු පිරිසක් ද සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව ද අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
