රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!
ශ්‍රී ලංකාවේදී ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 02ක (රුපියල් මිලියන 100ක) අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් ලද ඉල්ලීමකට අනුව ඔහුට තුන් වේලම නිවසින් ආහාර ලබාගැනීමට සහ දිනකට බැලීමට පවුලේ ඥාතීන් තිදෙනෙකුට අවසර ලබා දී ඇති බවයි.
මේ අතර, බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම තවත් දේශපාලන නියෝජිතයින් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියහ. තවද, තමාට ඉදිරි දිනවල ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ද ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස වන අතර, හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා මන්ත්‍රීවරයා බොහෝ දුරට සහභාගී වීමට නියමිතව තිබේ.
