යුද්ධය හේතුවෙන් ණය පිරිවැය ඉහළ යාම ගෝලීය ආර්ථිකයට දැඩි තර්ජනයක් – මැට් ඊගන්ගේ විශ්ලේෂණයක්!

ap26239535603913

නිව්යෝර්ක් සහ වොෂින්ටන් —

ලෝකයේ වඩාත්ම වැදගත් වෙළඳපොළ වන අමෙරිකානු බැඳුම්කර වෙළඳපොළ තුළ (US Bond Market) මේ වන විට අවදානම් සංඥා දැල්වෙමින් පවතින බව CNN ආර්ථික විශ්ලේෂක මැට් ඊගන් පෙන්වා දෙයි. ඉරානය සමඟ පවතින යුද්ධය දිගින් දිගටම ඇදී යාම, අමෙරිකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම සහ බොරතෙල් ඇතුළු බලශක්ති මිල ගණන් ඉහළ යෑම මෙම ආර්ථික අස්ථාවරත්වයට මූලිකවම බලපා ඇත.

සති කිහිපයකින් නිම වනු ඇතැයි අපේක්ෂා කළ මෙම ගැටුම මාස හයකට අධික කාලයක් තිස්සේ පැවතීම හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනය පිළිබඳ උත්සුකයන් යළිත් මතුවී ඇති අතර, අමෙරිකාවේ සමස්ත ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ක සීමාව ඉක්මවා යාම බැඳුම්කර වෙළඳපොළ තවත් බරපතළ අවදානමකට ඇද දමා ඇත. ප්‍රතිඵලයක් ලෙස, අමෙරිකානු 10-වසරක භඳුම්කරවල ප්‍රතිලාභ (10-year Treasury Yield) වසර තුනකට ආසන්න කාලයක ඉහළම අගයට ළඟා වී තිබේ.

ගෝලීය බලපෑම සහ ණය උගුල

මෙම බැඳුම්කර වෙළඳපොළ අර්බුදය අමෙරිකාවට පමණක් සීමා වූවක් නොවේ. ජර්මනිය, එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවලද දිගුකාලීන බැඳුම්කර ප්‍රතිලාභ මට්ටම් ඉතිහාසයේ වෙනත් කාලවලට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම දශක ගණනාවකට පසු උද්ධමනයට මුහුණ දී සිටින ජපානයේ 10-වසරක බැඳුම්කර ප්‍රතිලාභය 1996 ඔක්තෝබර් මාසයෙන් පසු ප්‍රථම වතාවට සියයට 3 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඉහළ යන බැඳුම්කර ප්‍රතිලාභ හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට නිවාස ණය ලබාගැනීම, ව්‍යාපාරවලට ප්‍රාග්ධනය රැස්කිරීම මෙන්ම අමෙරිකානු රජයට සිය ණය පොලී ගෙවීම් පියවීම අතිශය දුෂ්කර වී තිබේ. මෙම මූල්‍ය වර්ෂය තුළ පමණක් අමෙරිකාව ජාතික ණය සඳහා ගෙවා ඇති ශුද්ධ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 931ක් වන අතර, එය එම කාලය තුළ ආරක්ෂාව සඳහා වැය කළ ඩොලර් බිලියන 804 ඉක්මවා යාම විශේෂත්වයකි. මහා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් බැඳුම්කර වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා මෑතකදී හදිසි මැදිහත්වීම් සිදු කළද, එය ව්‍යුහාත්මක ණය අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමට අසමත් වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

You may have missed