චීනයේ ක්විංඩාඕ වරායේ නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි!

default

චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ වරාය නගරයක් වන ක්විංඩාඕ (Qingdao) හි නැව් අලුත්වැඩියා මධ්‍යස්ථානයක නවතා තිබූ විදේශ ධජයක් සහිත විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ. ෂැන්ඩොං පළාතේ බෙයිහායි නැව් තැනීමේ සමාගමට (Beihai Shipbuilding Co.) අයත් නැව් අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී මෙම ඛේදනීය අනතුර සිදුව ඇත. පසුගිය අගෝස්තු මස 31 වන දින නඩත්තු කටයුතු සඳහා අදාළ වරාය වෙත පැමිණි මෙම නෞකාව මත ගින් හටගන්නා අවස්ථාවේදී පුද්ගලයින් 42 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.

දේශීය වේලාවෙන් පෙරවරු 11:15ට පමණ නෞකාව තුළ හටගත් මෙම හදිසි ගින්න පැය තුනකට අධික කාලයක් පුරා දැවැන්ත මෙහෙයුමක් දියත් කර පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත්ව ඇත. අනතුර සිදු වන අවස්ථාවේ නෞකාව මත සිටි පිරිසෙන් පුද්ගලයින් 12 දෙනෙකු නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට හැකි වී ඇති අතර, තුවාල ලැබූ තවත් පුද්ගලයින් 5 දෙනෙකු වහාම රෝහල්ගත කර තිබේ. කෙසේ වෙතත්, අතුරුදන්ව සිටි පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අවසන් වන විට, අනතුරින් අදාල නෞකාවේ සිටි පුද්ගලයින් 25 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන මධ්‍යම රූපවාහිනිය (CCTV) නිල වශයෙන් නිවේදනය කළේය.

රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද දර්ශන සහ නාවික ලේඛනවලට අනුව, අනතුරට ලක්ව ඇත්තේ මීටර් 190ක දිගකින් යුත් ලයිබීරියානු ධජය යටතේ ධාවනය වන “Ocean Melody” නම් වියළි භාණ්ඩ ප්‍රවාහන (bulk carrier) නෞකාවකි. මෙම අනතුර සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වී ඇති චීන ජනාධිපති ෂී ජින්පින් සහ අග්‍රාමාත්‍ය ලී චියාං, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසත්, තුවාල ලැබූවන්ට අවශ්‍ය උසස් ප්‍රතිකාර ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත. මීට අමතරව, මෙවැනි කාර්මික අනතුරු යළි සිදුවීම වැළැක්වීම සඳහා රට පුරා පවතින ගිනි උවදුරු සහ ආරක්ෂක විධිවිධාන දැඩි ලෙස පරීක්ෂා කර බලන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැඩි නියෝග නිකුත් කර තිබේ.

You may have missed