ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට නිපදවන ලද උසස් තාක්ෂණික උභයජල යාත්‍රාවක් යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවය කොග්ගලදී පැවැත්වේ!
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේදී ද එක ලෙස ධාවනය කළ හැකි අතිනූතන තාක්ෂණයෙන් යුත් උභයජල (amphibious) යාත්‍රාවක් මෙරටදී නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවය කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. රජයේ නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම සමගාමීව ‘Ocean Voyager International’ ආයතනය විසින් මෙම නව නිර්මාණය සිදු කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ නාවික නිෂ්පාදන ක්ෂේත්රයේ ඉතිහාසගත දැවැන්ත පෙරළියක සන්ධිස්ථානයක් ලෙස සටහන් වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙතෙක් කාලයක් කතාවට පමණක් සීමා වී තිබූ දේශීය නිෂ්පාදන ආර්ථිකය ප්‍රායෝගිකව ජයග්‍රහණය කරවීම වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීම වන බවයි. ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලීනව විශාලතම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි ප්රමුඛ පෙළේ ක්ෂේත්රයක් ලෙස බෝට්ටු හා නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
දේශීය ඉංජිනේරුවන්ගේ සහ දක්ෂ ශ්‍රමිකයින්ගේ පූර්ණ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම නාවික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට සහ රජයේ නොමද සහාය ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLYG සමාගම් සමූහයේ සභාපති පියර් ප්‍රින්ජියර්ස් (Pierre Pringiers) මහතා, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් ඔබේසේකර මහතා ඇතුළු ආයතනවල පාලනාධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
