ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ!

MediaFile_20260910_153755_587

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. 2027 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එකොළොස් වන (11) ජාතික බාලදක්ෂ ජම්බෝරිය සම්බන්ධයෙන් සහ එහි සංවිධාන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පුළුල් ලෙස දැනුවත් කර ඇත.

මෙම හමුවට සමගාමීව, 2027 ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා නිල වශයෙන් එළිදැක්වීමද සිදුවිය. තවද, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් සහ අනාගත සැලසුම් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ. රට තුළ බාලදක්ෂ ව්‍යාපාරය තවත් පාසල් සංඛ්‍යාවක් වෙත පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය සහ රජය විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය හරහා ලබාදිය හැකි දායකත්වයේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී දැඩිව අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, වැඩබලන නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් කපිල පෙරේරා, විධායක කමිටු සභාපති කමල්නාත් ජිනදාස සහ ජම්බෝරි සම සංවිධායක කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

You may have missed