ශ්‍රී ලංකාවේදී භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට ප්‍රේෂණය කළ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි!

Screenshot 2026-09-11 at 9.02.15 AM

ශ්‍රී ලංකාව තුළ විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසමින්, අමෙරිකානු ඩොලර් මිලියන 80ක (රුපියල් බිලියන 23.7කට අධික) දැවැන්ත මුදලක් නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ප්‍රේෂණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ෆාස් නමැති මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන සැප්තැම්බර් 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පුළුල් විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය වී තිබේ. 2023 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 2025 වසරේ නොවැම්බර් මස 21 වනදා දක්වා කාලය තුළදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු 6ක් ඔස්සේ සමාගම් 26ක් හරහා අවස්ථා 3,198කදී මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. සැකකරු විසින් රූපලාවණ්‍ය භාණ්ඩ ගෙන්වන මුවාවෙන් චීනය, ඉන්දියාව සහ ඩුබායි වෙත ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ඇක්ෂන් (TT) ක්‍රමය යටතේ මෙම මුදල් යවා ඇති අතර, ඔහුගේ පාලනය යටතේ පැවති සාක්ෂරතාව අඩු පුද්ගලයින් රුපියල් ලක්ෂයක පමණ මුදලකට යොදා ගනිමින් පුද්ගලික සමාගම් සහ බැංකු ගිණුම් ආරම්භ කරවාගෙන තිබේ.

අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සඳහන් කළේ සැකකරු විසින් පිහිටුවන ලද සමාගම් 26න් එකඳු සමාගමකින්වත් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බවත්, භාණ්ඩ ගෙන්වන බවට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන කූඨ ලේඛන වන බවත්ය. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙරට පද්ධතියේ පවතින ගැටලු හේතුවෙන් ව්‍යාපාරිකයින්ට නීත්‍යානුකූලව භාණ්ඩ ගෙන්වීමේදී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවයි. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුට මුදල් ලබා දුන් ප්‍රධාන පුද්ගලයින් සහ ජාවාරමට සහාය දැක්වූ පිරිස් සොයා පොලිසිය පුළුල් විමර්ශන අඛණ්ඩව සිදු කරමින් සිටියි.

You may have missed