ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයින් අතර විශේෂ හමුවක් පවත්වයි!

images

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. රට තුළ ජාතික සමගිය, සංහිඳියාව සහ ආගමික සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම හමුව සංවිධානය කර ඇත. කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි ආරක්ෂිත පරිසරයක් සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, මෙරට තුළ නැවත කිසි දිනක ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබූ බව සඳහන් කළ ඔහු, වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් පාර්ශ්ව ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට උත්සාහ කරමින් සිටින බවද පැවසීය. රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ මෙන්ම කතෝලික හා හින්දු ආගමික නායකයෝද ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරන පිරිස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් රජයේ වැඩපිළිවෙළට තම පූර්ණ සහාය පළ කළහ.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල වත්මන් ප්‍රගතිය සහ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම පිළිබඳවත්, ඉස්ලාම් ආගමික ග්‍රන්ථ හා අධ්‍යාපනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් විසඳා ගැනීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු ජාතික මට්ටමේ ආයතන තුළ සියලු ප්‍රජාවන්ගේ නිසි නියෝජනයක් තහවුරු කිරීමේ වැදගත්කම සහ නිල ඇඳුම් ගැටලුව වැනි පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජයේ නොසන්සුන්තාවන් ඇති වීම වැළැක්වීම පිළිබඳවත් අවධානය යොමු විය. කතෝලික ජනතාව ජීවත් වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනජීවිතයට බලපාන පරිසර හානි වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

You may have missed