ශ්‍රී ලංකාවේදී විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වන ශ්‍රමිකයින් සඳහා ලබාදෙන මරණ වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා ඉහළ නංවයි!
විදේශ රැකියාවල නිරතව සිටියදී විවිධ අවාසනාවන්ත හේතූන් මත මරණයට පත්වන විගමණික ශ්‍රමිකයින්ගේ පවුල් වෙත ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී මෙම තීරණය අනාවරණය කෙරුණු අතර, මෙය විදේශගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ලබාදීමට හැකි වූ අතිශය වැදගත් සහ ප්‍රධාන පෙළේ සහනයක් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
විදේශ රැකියාවක නිරතව සිටියදී මරණයට පත්වන අයෙකු වෙනුවෙන් මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ හයක (6) සොච්චම් මුදලක් පමණක් වන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ විස්සක් දක්වා ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබඳව සතුටට පත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ රැකියාවල නිරත වන ශ්‍රමිකයින්ගෙන් අවාසනාවන්ත ලෙස වාර්ෂිකව දෙසීය පනහකට (250) පමණ දිවි අහිමි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි තත්ත්වයන් අවම කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහ යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට සමගාමීව, විදේශ රැකියාව අතරතුර මරණයට පත්වූ විගමණික ශ්‍රමිකයින් 50 දෙනෙකුගේ ඥාතීන් වෙත වන්දි මුදල් පිරිනැමීමද සිදු කෙරිණි. විදේශගත ශ්‍රමිකයින් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්න දැවැන්ත මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස ලබාදෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරියේදී තවත් නව වැඩසටහන් රැසක් හඳුන්වා දෙන බව පැවසීය. ඒ යටතේ අඩු පොලියක් යටතේ රුපියල් මිලියන 10ක නිවාස ණය පහසුකම් බැංකු හරහා ලබාදීමට සහ ඉන් යම් පොලී ප්‍රමාණයක් කාර්යාංශය මඟින් ගෙවීමට කටයුතු කරන බවත්, පාසල් දරුවන් සඳහා උපකරණ මෙන්ම වාර්ෂික ශිෂ්‍යත්ව දීමනා වැනි සුබසාධන පහසුකම් දැනටමත් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
