2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ!

WhatsApp-Image-2026-09-08-at-212049_20260908_155914_423

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් ඇගයීමට ලක් කෙරෙන 2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, 2025 වසරේදී සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයක් සැපයූ ලේඛක ලේඛිකාවෝ ඉසව් 50කට අධික සංඛ්‍යාවක් යටතේ රාජ්‍ය සම්මානවලින් පිදුම් ලැබූහ.

මෙම උත්සවයේ විශේෂාංගයක් ලෙස, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රිවිධ මාධ්‍යයෙන් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට ජීවිත කාලයම කැප කරමින් අමරණීය සේවයක් ඉටු කළ ප්‍රවීණ සාහිත්‍යධරයන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන කීර්තිමත් “සාහිත්‍යරත්න” ගෞරව සම්මානය ජනාධිපතිවරයා අතින් ප්‍රදානය කරන ලදී. ඒ අනුව, සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතාද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතාද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මහතාද මෙහිදී එම උත්තුංග සම්මානයෙන් පිදුම් ලැබූහ. තවද, 2026 වසරේ සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ භාෂාත්‍රයෙන් ලියැවුණු සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු විය.

උත්සව සභාව අමතමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, පසුගිය දෙවසර සමාජ පරිවර්තනයේ දෙවසරක් බවත්, ශිෂ්ටාචාරමය වෙනසක් ඇති කිරීම සඳහා කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය අනුපමේය බවත්ය. ඈත ගම්මානවල වෙසෙන ජනතාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම, සමකාලීන කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපාදනයක් සකස් කර ගැනීම සහ කලා මණ්ඩල පනත ඇතුළු පනත් 05ක් සංශෝධනය කිරීම මඟින් කලා ක්ෂේත්‍රයේ අනාගතය සුරක්ෂිත කිරීමට රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මහා සංඝරත්නය, ආගමික නායකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විද්වතුන් සහ සම්මානනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

You may have missed