ශ්‍රී ලංකාවේ සියලුම විදුලි වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක්!
ශ්‍රී ලංකාවේ භාවිත වන සියලුම විදුලි වාහන සඳහා විශේෂ ‘කොළ’ පැහැති පසුබිමකින් යුත් අංක තහඩුවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ. සෙසු සාමාන්‍ය වාහනවල ඉදිරිපස අංක තහඩුව ‘සුදු’ පැහැයෙන් සහ පසුපස අංක තහඩුව ‘කහ’ පැහැයෙන් පවතින අතර, විදුලි වාහන සඳහා හඳුන්වා දෙන මෙම කොළ පැහැති තහඩුව නිසා පොලිසියට සහ ආරක්ෂක අංශවලට විදුලි වාහන ඉතා පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට හැකි වේ.
ප්‍රවාහන අමාත්‍යවරයා සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර මෙම තීරණයට එළඹුණු බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. අංක තහඩු මුද්‍රණය සඳහා වන අලුත් කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වන මේ වසරේ මාර්තු මස සිට ලියාපදිංචි කළ විදුලි වාහන සඳහා මෙම කොළ පැහැති අංක තහඩු ලබා දෙනු ඇත. ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කාර් ඇතුළුව වාහන ලක්ෂ එකහමාරක් පමණ ලියාපදිංචි කර ඇති අතර, රාත්‍රී වැඩමුර පවත්වා සහ ආරක්ෂක හමුදාවේ දායකත්වය ලබා ගනිමින් ඉදිරි මාස හය ඇතුළත සිරවී ඇති සියලුම අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
