ශ්‍රී ලංකාවේදී අභිනවයෙන් පත්වූ චීන තානාපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් පවත්වයි!
ශ්‍රී ලංකාවේ අභිනවයෙන් රාජකාරී ආරම්භ කළ නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සුහද හමුවක් ශ්‍රී ලංකාවේදී, එනම් කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (09) පෙරවරුවේ සාර්ථකව පැවැත්විණි. පසුගිය අගෝස්තු මස 25 වන දින සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ නව තානාපතිවරයා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය හෘදයාංගම සුබ පැතුම් එක් කළේය. මෙම වැදගත් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාද සහභාගී වී සිටියේය.
හමුව අතරතුරදී, චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය වඩාත් සමීපව අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසන සාම්ප්‍රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්රන්ථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා විසින් ඉතා සුහදව පිළිගන්වන ලදී. ඒ වෙනුවෙන් තානාපතිවරයා වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කළ හිටපු ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ජනතාව සුහදත්වයෙන් යුතුව වැළඳ ගනිමින් මිත්‍රත්වයෙන් මෙන්ම උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් යුතුව දෙරට මෙතෙක් පැමිණි දිගුකාලීන ගමන්මග මෙහිදී ආවර්ජනය කළේය. මීට අමතරව, දුෂ්කර අවස්ථාවලදී සහ අඛණ්ඩව චීන රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික සහ සංවර්ධන සහයෝගය පිළිබඳවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කර තිබේ.
