ශ්‍රී ලංකාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට එරෙහි පෙත්සමක් විභාග නොකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරේ!
ශ්‍රී ලංකාවේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් මීට පෙර ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නව පෙත්සමක් ගොනු කර තිබේ. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව දුලාර ගුණතිලක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණද, එම පෙත්සම විභාගය සඳහා කිසිදු අවස්ථාවක විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු කර නොමැති බවයි. මෙම තත්ත්වය තුළ තම මූලික මිනිස් අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ. මීට අමතරව, අදාළ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
