ශ්‍රී ලංකාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක්!
කොළඹ, ශ්‍රී ලංකාව —
එළැඹෙන සැප්තැම්බර් 7 වැනි දින ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නවතම වාර්තාව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා විසින් නිකුත් කරන ලද මෙම වාර්තාව මඟින් ශ්‍රී ලංකා රජයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් වහාම නතර කරන ලෙස බලපා ඇත.
වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු තවමත් පූර්ණ ලෙස ඉටු වී නොමැති බව මහකොමසාරිස්වරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් පුරවැසියන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බවත්, එම පනතට අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් ඔහු දැඩි ලෙස නිර්දේශ කර තිබේ.
වධහිංසා සිද්ධීන් සහ පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව
ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, 2025 සහ 2026 වසර තුළදී අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවූ මරණ මෙන්ම වධහිංසා පැමිණවීම් සහ අමානුෂික ලෙස සැලකීමේ සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මීට අමතරව, මාර්ගගත සුරක්ෂිතතා පනත (Online Safety Act) සහ ICCPR පනත වැනි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන නීති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම, උතුරු නැගෙනහිර හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත නොකර පුනරුත්ථාපනය කිරීම ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
