ශ්‍රී ලංකාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පෙත්සම්වල ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වෙයි!

Screenshot 2026-09-04 at 8.35.48 AM

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ (03) පස්වරු 3.00ට අවසන් විය. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක් සහ අතරමැදි පෙත්සම් කිහිපයක් ගොනු කර තිබිණි.

ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දින දෙකක් පුරා පෙත්සම් විභාගය පැවැත්වී ඊයේ පස්වරුවෙන් අවසන් විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ලිඛිත දේශන ලබා නොදීමට තීරණය කරයි

පෙත්සම් විභාගය අවසානයේ සියලු පාර්ශ්වයන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා ඊයේ පස්වරු 3.00 දක්වා කාලය ලබාදී තිබුණි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව මෝසම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියහ.

පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවත්, රජයේ පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු දැක්වීමෙන් අනතුරුව වාචික ප්‍රතිචාර දැක්වීමට සහ ප්‍රතිතර්ක ඉදිරිපත් කිරීමට තමන් කළ ඉල්ලීමට අවසර නොලැබුණු බවත් පෙත්සම්කරුවන් සිය මෝසම් මඟින් දැඩි ලෙස අවධාරණය කර ඇත. මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ රහසිගත නිගමනය යථාකාලයේදී ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතව තිබේ.

You may have missed