ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වෙයි!

MediaFile_20260903_140227_176

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (02) ආරම්භ විය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අල්ලස හා දූෂණය දුරු කිරීමේ ක්‍රියාවලිය උනන්දුකිරීමේ අරමුණින් රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි. කෙසේවෙතත්, අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට රජය සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වයන්ගේ දැඩි විරෝධතා සහ නීතිමය තර්ක

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනු කර ඇති මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, යෝජිත සංශෝධනය තුළින් අල්ලස් ඉල්ලීම, ලබාදීම සහ අල්ලස් දීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමට තිබෙන බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර ඇති බවයි. එම බලය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීම අතිශයින් භයානක තත්ත්වයක් බවත්, මේ හරහා මහේස්ත්‍රාත්වරයා හුදු රබර් මුදාවක් බවට පත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මහාධිකරණයේදී ඇප ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් සැකකරුවන්ට නිකරුණේ රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවන බැවින්, මෙම සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගලික නිදහස සහ මූලික අයිතිවාසිකම් කප්පාදු වීමක් සිදුවන බවත්, එම නිසා මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ නිලධාරියෙකු නොවන බැවින්, එවැනි විධායක නිලධාරියෙකු වෙත මෙතරම් විශාල බලයක් පැවරීම අතිශයින් අනතුරුදායක බවයි.

එමෙන්ම, තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා සහ “මීඩියා ලෝ ෆෝරම්” ආයතනය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද කරුණු දක්වමින් කියා සිටියේ, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේදී සහ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙන්ම අධ්‍යක්ෂවරුන් ඉලක්ක කරමින් මෙම සංශෝධන ගෙන ඒම හරහා තොරතුරු දැනගැනීමේ අයිතියට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි සීමා පැනවෙන බැවින්, මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවයි.

මෙම පෙත්සම් විභාගය අද දිනත් පැවැත්වීමට නියමිතයි.

You may have missed