එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් 1,132ක භට පිරිසක් පිටත්ව යයි

image_d3116dda96

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (පනාගොඩ, ශ්‍රී ලංකාව) — එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 1,132 දෙනෙකුගෙන් යුත් භට පිරිසට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම අවස්ථාවට එක්විය.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන විශාලතම භට කණ්ඩායම මෙය වන අතර, ඔවුන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපතිවරයෙකු පෞද්ගලිකවම පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝකයේ කොතැනක සිටියද පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා හමුදාව සූදානම් බව ලෝකයට කියා පෑම මෙම මෙහෙයුම හරහා සිදුවන බවයි. මෙය රටට මහත් අභිමානයක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකයේ ධනවත්ම රට බවට පත්වීම අසීරු වුවද, අභිමානවත් රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.