සීනි ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳව ශ්‍රී ලංකාව සහ ෆීජි රාජ්‍යය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්!

images-1

කොළඹ, ශ්‍රී ලංකා —

ෆීජි රාජ්‍යය සමඟ සීනි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළඳ හා ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මොංගෝලියාවේ උලාන්බාටාර් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශ්වකරුවන්ගේ මහා සම්මේලනයේ (COP17) “භූමිය හා ජනතාවගේ දිනය” (Land & People Day) සමඟාමීව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ ෆීජි රාජ්‍යයේ කෘෂිකර්ම, ජල මාර්ග සහ සීනි කර්මාන්ත අමාත්‍ය ටොමාසි ටුනාබුනා (Tomasi Tunabuna) මහත්වරුන් අතර මෙම හමුව සිදුවිය.

සාකච්ඡාවේ ප්‍රධාන අංශ සහ සහයෝගීතා ක්ෂේත්‍ර

දෙරටටම වැදගත් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇත:

  • අගය එකතු කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීම: ෆීජි රාජ්‍යයේ කෘෂිකර්මාන්තය කොකෝවා, පොල්, තේ සහ උක් වැනි ප්‍රධාන බෝග වගාවන් මත පදනම් වුවද, එම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් අගය එකතු කිරීමේ (Value Addition) ක්‍රියාවලීන් සිදු නොවීම හේතුවෙන් අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමේ සීමාවන් පවතින බව ෆීජි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සතු කොකෝවා, පොල් සහ තේ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට ෆීජි නියෝජිතයින් මෙහිදී දැඩි කැමැත්ත පළ කළහ.
  • ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම: ෆීජි රාජ්‍යය සඳහා සීනි ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ගැනුම්කරුවන් සොයා ගැනීමේ කටයුතු සිදුකරන බැවින්, ශ්‍රී ලංකාවටද එම අවස්ථාවන් සඳහා ප්‍රවේශ වීමට සහ ඒකාබද්ධ සහයෝගීතාවක් ඇති කර ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා දීමට ෆීජි අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇත.
  • තාක්ෂණය සහ සම්බන්ධීකරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළ නව දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් ෆීජි රාජ්‍යය සමඟ හුවමාරු කර ගැනීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා එකඟ වූ අතර, ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

“Restoring Land. Restoring Hope.” තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා පැවැත්වෙන මෙම සමුළුව හරහා කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය වැනි ගෝලීය අභියෝග සඳහා තිරසර විසඳුම් සෙවීම සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

You may have missed