ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව අගමැතිනිය පවසයි!

MediaFile_20260914_142909_144

සමාජයට නායකත්වය දෙන, ලෝකය වෙනස් කිරීමට අවධානය යොමු කරන සහ ලෝකයේ දැනුම සාර්ථකව අත්පත් කර ගන්නා අනාගත පරපුරක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ සමාජ පරිවර්තනයක් සිදුකළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවද ඇය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මඩකලපුව එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අවස්ථාවේදී සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් දක්වමිනි. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මඩකලපුව පාසල් සිසුන්ට ජනාධිපති කාර්යාලීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව හිමි වූ අතර, එහිදී පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව ද සිසුන් දැනුවත් කෙරිණි.

රටට වැඩදායී ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, රජයක් හැටියට මානව සම්පත් දියුණු කිරීමට සහ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ක්‍රමානුකූලව වැඩි කිරීමට ප්‍රමුඛත්වය දී ඇති බව පෙන්වා දුන්නාය. නිදහස් අධ්‍යාපනය නිර්මාණය කිරීමේදී පැවති දර්ශනයේ අඩංගු සංකල්පයන් ආවරණය වන ආකාරයෙන් මෙම ක්‍රියාවලිය සිදුකළ යුතු බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් පාසල වෙත වටිනා පැළ ලබා දීමක් ද සිදු විය.

You may have missed